මුදවා ගැනීමේ මෙහෙයුමකින් අනතුරට පත් නාවික යාත්‍රාව ගොඩගෙන ඇති අතර, අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි

17 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් වන P 4447 යාත්‍රාව, අංගුලාන මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිට යළි පැමිණෙමින් සිටියදී, 2026 අගෝස්තු මස 15 වන දින 1140 පැයට පමණ අනපේක්ෂිත ලෙස අනකුරකට මුහුණ දී ඇත.

අනතුරින් පසුව ඇති වූ හදිසි තත්වයට යාත්‍රාවේ කාර්ය මණ්ඩලය කඩිනමින් ප්‍රතිචාර දක්වා ඇති අතර, අංගුලාන පොලිසියේ සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාවේ සහාය ඇතිව යාත්‍රාවේ සිටි නාවික පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) සාර්ථකව මුදාගෙන ඇත.

එමෙන්ම, අතුරුදන් වූ නිලධාරියා සොයා ගැනීම, අනතුරට පත් යාත්‍රාව ගොඩගැනීම සහ සිද්ධියට නිශ්චිතව බලපෑ කරුණු හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් විශේෂඥ දැනුම හා තාක්ෂණික හැකියාවන් උපයෝගී කර ගනිමින්, නාවික හමුදාව විසින් සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන ලදි.

ඒ අනුව, 2026 අගෝස්තු මස 16 වන දින උදෑසන සිට ක්‍රියාත්මක කළ දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව, නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් අනතුරට පත් යාත්‍රාව සාර්ථකව ගොඩගෙන ඇත.

මුදාගනු ලැබූ නාවික පුද්ගලයින්ගෙන් ලබාගත් මූලික තොරතුරු අනුව, යාත්‍රාව අදාළ මුහුදු ප්‍රදේශයේ දිය යට ගිලී ඇති නැවක හෝ යාත්‍රාවක කොටසක ගැටී අනතුරට පත්වන්නට ඇති බවට සැක කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සිදු කෙරෙන විමර්ශනයේදී අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් මේ වන විට පත් කර ඇත. තවද, අනතුරින් මුදාගනු ලැබූ නාවික පුද්ගලයින් 11 දෙනා මේ වන විටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර, මේ වන විට ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවේ.

තවද, අතුරුදන් වූ නිලධාරියා සොයා ගැනීම සඳහා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සෙවීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.

Accessibility Tools