තලවිල වෙරළේදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි ඉඟුරු, එනසාල් පොතු සහ කෘමිනාශක දියර තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කල්පිටිය, තලවිල වෙරළ ප්‍රදේශයේ අද දින (2026 අගෝස්තු 20) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියළි ඉඟුරු, එනසාල් පොතු සහ කෘමිනාශක දියර අඩංගු බෝතල් තොගයක් නාවික හමුදා භාරයට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනය මඟින් තලවිල වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, වෙරළ ප්‍රදේශයේ අතහැර දමා තිබූ සැක කටයුතු පාර්සල් දහසයක් (16) පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම පාර්සල් තුළ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියළි ඉඟුරු කැබලි කිලෝග්‍රෑම් පන්සිය අනූ එකක් (591), එනසාල් පොතු කිලෝග්‍රෑම් හැත්තෑ පහක් (75) සහ කෘමිනාශක දියර අඩංගු බෝතල් තුන්සියයක් (300) සොයා ගන්නා ලදී.
ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් මෙම භාණ්ඩ තොගය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා කල්පිටිය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.













