නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලො ග්‍රෑම් 2276කට අධික තොගයක් මීගමුවේදී නීතියේ රැහැනට

23 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මීගමුව වේල්ලවීදිය වෙරළ ප්‍රදේශයේ අද දින (2026 අගෝස්තු 23) උදෑසන සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ ලොරි රථයක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය විසින් මීගමුව තෙල්වත්ත පොලීසිය හා එක්ව, මීගමුව වේල්ලවීදිය වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ ලොරි රථයක් (01) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රා මඟින් නීති විරෝධී ලෙස රැගෙන විත්, ලොරි රථයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බවට සැක කෙරෙණ, බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් දෙසීය හැත්තෑ හයකට (2276) අධික තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය, ඩිංගි යාත්‍රා දෙක සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව තෙල්වත්ත පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Accessibility Tools