නීති විරෝධි ලෙස හක් බෙල්ලන් තොගයක් සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු කල්පිටියේදී නීතියේ රැහැනට

01 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ 2026 ජූලි මස 30 වැනි දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් තොගයක් නිවාස දෙකක (02) ගබඩා කරගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට ලද විශ්වසනීය තොරතුරකට අනුව, කල්පිටිය පොලීසිය හා එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවාස දෙකක් (02) පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම නිවාස තුල ගබඩා කර තිබූ, වට ප්‍රමාණය මිලිමීටර් 70 යන අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් සහිත උර හතලිස් හයක් (46) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගන්නා ලදි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35 ක් සහ 54 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන් සහ හක් බෙල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools