ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේ අතුරුදහන් වූ ධීවරයෙකු සෙවීම සඳහා නාවික හමුදා සහාය
2026 ජූලි මස 03 දින ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේදී ධීවර යාත්‍රාවක් පෙරළී යාමෙන් අතුරුදහන් වූ ධීවරයෙකු සම්බන්ධව ලද ආපදා පණිවිඩයකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ ද සහාය ඇතිව සෙවීම් සහ මුදාගැනීමේ (SAR) මෙහෙයුමක් දියත් කර ඇත.
ඒ අනුව 2026 ජූලි 02 දින සවස කොඩ්බේ, වීරනගර් ප්‍රදේශයේ ධීවරයින් තිදෙනෙකු මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් ඇති අතර ඔවුන් ගමන් ගත් ධීවර යාත්‍රාව පෙරළී යාමෙන් පසු ධීවරයින් දෙදෙනෙකු නැවත ඩිංගි යාත්‍රාවට ගොඩවීමට සමත්ව ඇති අතර, පසුව ඔවුන් විසින් මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කරන ලදි. මෙහිදී අතුරුදහන් වූ ධීවරයා මෙම ඩිංගි යාත්‍රාවේ හිමිකරු බවට විශ්වාස කෙරේ.ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ සහාය ඇතිව නාවික හමුදා මුර සංචාරක යාත්‍රා සහ නාවික හමුදා කිමිදුම්කරුවන් අතුරුදහන් ධීවරයා සෙවීමේ මෙහෙයුම මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.













