නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ඖෂධ පෙති සහ ෂැම්පු ඇතුළු භාණ්ඩ තොගයක් කල්පිටියේදී සොයා ගැනේ

09 Jul 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව පුත්තලම, සින්නපාඩු වෙරළ ප්‍රදේශයේ අද දින (2026 ජුලි 08) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද භාණ්ඩ තොගයක් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්ඹපන්නි ආයතනය සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පුත්තලම, සින්නපාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ ප්‍රවාහනයට සූදානම්කර තිබූ සැක කටයුතු පාර්සල් පහළොවක් (15) පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදි එම පාර්සල් තුල තිබූ නීති විරෝධී ලෙස රැගෙන එන ලද ඔෂධ පෙති එක්ලක්‍ෂ හතලිස් තුන්දහස් හයසියයක (143,600)ක පමණ ප්‍රමාණයක්, ෂැම්පූ පැකට් විසි දෙදහස් හැට හතරක (22,064) සහ මදුරු විකර්ශක ආලේපන ද්‍රව්‍ය ඇතුළත් ටියුබ් තුන්දහස් අටසිය දහසයක (3,816) පමණ තොගයක් නීතිය හමුවට පැමිණ වීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, නාවික හමුදා මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් භාණ්ඩ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා උඩප්පුව පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools