ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් ජාවාරම් කිරීමට උත්සාහ කළ කිලෝ ග්‍රෑම් 04කට අධික රත්‍රං තොගයක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 නොවැම්බර් මස 17 වැනි දින තලෙයිමන්නාරම, පේසාලෙයි සහ පුත්තලම, උච්චමුනේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, රත්‍රං කිලෝ හතරකට (04) අධික තොගයක් මුහුදු මාර්ගයෙන් ජාවාරම් කිරීමට උත්සාහ කළ සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
උතුරු මැද නාවික විධානය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, එම විධානය මඟින් පේසාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ තලෙයිමන්නාරම උතුරු මුහුදේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකෙරිණි. එහිදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කළ ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කිරීමේදී, එම ඩිංගි යාත්‍රාවෙහි වැලි පුරවන ලද උරයක් (01) තුල සූක්ෂම ලෙස සඟවා තිබූ රත්‍රං කිලෝ එකයි (01) ග්‍රෑම් හාරසිය දහයක (410) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගනු ලැබීය.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ක් සහ 28 ක් වන පේසාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, කන්කසන්තුරය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, වයඹ නාවික විධානය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, එම විධානය මඟින් පුත්තලම, උච්චමුනේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 2026 නොවැම්බර් මස 17 වැනි දින රාත්‍රී කාලයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කළ ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාවෙහි ඉන්ධන කෑනයක සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝ තුනයි (03) ග්‍රෑම් විසි පහක (25) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගනු ලැබීය.
එහිදී, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 40 ක් සහ 50 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, රත්‍රං තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක, රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදෙනු ලැබීය.
තවද, නාවික හමුදා භාරයට ගත් මෙම රත්‍රං තොගය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් දකුණු ඉන්දියාව වෙත රැගෙන යාමට උත්සාහ කළ බවට සැකකෙරෙන අතර, මෙරට සාගර කාලපය ඔස්සේ සිදුකෙරෙණ මෙවැනි ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව විශේෂ අවධානයකින් පසුවෙමින් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබයි.













