නැගෙනහිර මුහුදේ රෝගී වූ ධීවරයන් 03ක් නාවික හමුදාවේ කඩිනම් මැදිහත්වීමෙන් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කෙරේ

09 Nov 2026

නැගෙනහිර ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී හදිසි රෝගී තත්වයකට පත් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයන් තිදෙනෙකු (03), කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව විසින් අද උදෑසන (2026 නොවැම්බර් 09) කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහා රෝහල වෙත යොමු කරනු ලැබීය.

ත්‍රිකුණාමලය ධීවර වරායෙන් 2026 නොවැම්බර් 06 වන දින ධීවරයින් හත් දෙනෙකු (07) රැගත් ‘චේශාන් පුතා 02’ (IMUL-A-1715 MTR) නමැති බහුදින ධීවර යාත්‍රාව ත්‍රිකුණාමලය සිට නාවික සැතපුම් විසි පහක (25) පමණ දුරින් නැගෙනහිර ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී, එම යාත්‍රාවේ ධීවරයන් තිදෙනෙකු (03) හදිසි රෝගී තත්වයකට ලක්ව ඇත. එම ධීවරයින් වෙත කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් සිදුකල දැනුම් දීමට ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම ධීවරයින් ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නැගෙනහිර නාවික විධානයට අනියුක්ත පී 450 දරන වේග ප්‍රහාරක යාත්‍රාව යොමු කරනු ලබීය.

අනතුරුව, පී 450 යාත්‍රාව වෙත එම ධීවරයින් තිදෙනා (03) ලබාගැනීමෙන් පසුව ඔවුන් වෙත, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපය තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත කඩිනම් සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.

Accessibility Tools