ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා ප්‍රජාසත්කාරක දායකත්වය

11 Nov 2026

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්ධන ඒකකය, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් සංවිධාන එක්ව 2026 නොවැම්බර් මස 09 වන දින සිට 14 වන දින දක්වා ක්‍රියාවට නංවා ඇති ඩෙංගු මර්ධන සතිය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදාව ප්‍රජාසත්කාරක දායකත්වය ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව, මෙම විශේෂ ජාතික ඩෙංගු මදුරු මර්ධන සතිය යටතේ, ඩෙංගු අවධානම සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හැත්තෑ හතරක් (74) මුල්කර ගනිමින් මෙම ‍වැඩසටහන ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ, ඒකාබද්ධ ඩෙංගු පරීක්‍ෂණ කණ්ඩායම් සඳහා, හිමිකරුවන් නොමැති ඩෙංගු මදුරු බෝවන ස්ථාන විනාශ කිරීම හා පවිත්‍ර කිරීම, පාසල්, පිරිවෙන්, විශ්ව විද්‍යාල සහ ආගමික ස්ථාන ආශ්‍රිතව පිරිසිදු කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජාසත්කාරක දායකත්වය ලබා දෙනු ලබයි.

තවද, 2026 වර්ශයේ මේ දක්වා පැවති ‍ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදා පුද්ගලයින් හාර දහස් හත්සිය තිහක (4730) පිරිසක් සහභාගී වී ඇත. එම වැඩසටහන් මඟින්, නිවාස, ර‍ජයේ ආයතන, පෞද්ගලික ආයතන, පාසල්, ආගමික ස්ථාන, ඉදිකිරීම් පරිශ්‍ර, කර්මාන්ත ශාලා සහ පොදු පරිශ්‍ර ඇතුළු ස්ථාන එක්ලක්‍ෂ හැත්තෑ දහස් එකසිය හතලිහක (170140) ප්‍රමාණයක් පරීක්‍ෂාකර පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Accessibility Tools