කිලෝග්‍රෑම් 346 කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මිරිස්ස තල්අරඹ වෙරළේදී නීතියේ රැහැනට

29 Nov 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව, මාතර, මිරිස්ස තල්අරඹ වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි, 2026 නොවැම්බර් මස 28 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුන්සිය හතලිස් හයයි (346) ග්‍රෑම් එකසිය අසුහතරක (184) පමණ තොගයක් සහිත උර දහහතක් (17), ඩිංගි යාත්‍රාවක් (01), වෑන් රථ දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ එක් සැකකාරියක් (01) මිරිස්ස තල්අරඹ මුහුද සහ වෙරළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුමේදී, අත්අඩංගුවට ගත් උර දහහත (17) සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව, අද දින (2026 නොවැම්බර් 29) සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, එම උර තුල පාර්සල් තුන්සිය හතලිහක (340) අසුරා, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුන්සිය හතලිස් හයයි (346) ග්‍රෑම් එකසිය අසුහතරක (184) පමණ තොගයක් ඇති බවට තහවුරු විය.

ඒ අනුව, මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය, එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ බවට සැක කෙරෙන ඩිංගි යාත්‍රාව (01) සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (02), සහ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීමට පැමිණි බවට සැකකෙරෙණ වෑන් රථ දෙකක් (02) සමඟ අත්අඩංගුවට ගත් සැකකාරිය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

මෙම මත්ද්‍රව්‍ය තොගය නිරික්‍ෂණය සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් කොමදෝරු ප්‍රසාද් ජයසිංහ සහ ගුවන් හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සමඟ සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා, ‘රටම එකට’ ජාතික මෙහෙයුම වෙනුවෙන් සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි තීව්‍ර මෙහෙයුම් නාවික හමුදාව නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන බව පවසන ලදි. එහි තවත් දිගුවක් ලෙස නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගුවන් හමුදාව එක්ව, මාතර, මිරිස්ස තල්අරඹ වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් බිලියන හතරක (04) පමණ දළ වීථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තුන්සිය හතලිස් හයකට (346) අධික තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව පවසන ලදි.

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකල මෙහෙයුම් මඟින් පමණක්, රුපියල් බිලියන එකසිය විස්සකට (120) අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පැවසූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා, දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇති බැවින්, රටතුලට මත්ද්‍රව්‍ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බව අවධාරණය කරන ලදි.

එහිදී ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ මුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 331, 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒ අතර ප්‍රධාන ජාවාරම්කරුවන් 1,063ක් සහ ආධාර හා අනුබල දෙන්නන් 5,749ක් සිටින බව පවසන ලදි. ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,987ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,760ක්, කංසා කිලෝග්‍රෑම් 11,341ක්, කොකේන් කිලෝග්‍රෑම් 303ක් සහ කූෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අසාන්න තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ප්‍රමුඛ ආරක්‍ෂක අංශ, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමත්වී ඇති බවත්, එම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා පවසන ලදි.

තවද, මෙම මෙහෙයුම සාර්ථකව සිදුකිරීම සඳහා දායකවූ සියළු පාර්ශව වෙත ගරු ජනාධිපති තුමා වෙනුවෙන් සිය ස්තුතිය පිරිනැමු ගරු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා, මත් ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සාර්ථකව සිදුකිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ක්‍ෂණික දුරකථන අංක 1818 හෝ 1997 ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමින්, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය මඟින් සිදුකරනු ලබන කාර්යභාරය අගයන බව පවසන ලදි.