නීති විරෝධි ධීවර කටයුතු සහ ජාවාරම් මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 55ක් නීතිය හමුවට
ශ්රී ලංකා නාවික හමුදාව, 2026 ඔක්තෝබර් මස 02 සිට 17 දක්වා කාල සීමාව තුල සාගර කලාපය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධි ක්රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් පනස් දෙනෙකු (50) සමඟ ඩිංගි යාත්රා තිස්තුනක් (33), කැනෝයි යාත්රාවක් (01) සහ මත්ද්රව්ය ජාවාරම් සිදුකල බවට සැකකෙරෙන පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ බහුදින ධීවර යාත්රාවක් (01) නීතිය හමුවට පැමිණ වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ත්රිකුණාමලය ෆවුල් පොයින්ට්, ලංකාපටුන, නයාරු, තුඩුව, කදිරවේලි, මාර්බල් බීච්, ඉරක්කන්ඩි, පුදුමාතලන්, යාපනය චුන්ඩිකුලම්, කඩ්ඩයිකාඩු, වෙත්තලකේණි, කෝවිලන්, පුත්තලම මොහොත්තුවාරම්, කල්ලාරු යන වෙරළ හා මුහුදු ප්රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර සහ වයඔ නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්රා හා තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්රිකුණාමලය, මුලතිව්, මූතූර්, කුච්චවේලි, වාකරේ, කොඩ්බේ, යාපනය, මයිලඩි හා පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදාව 2026 ඔක්තෝබර් මස 13 වැනි දින දකුණු මුහුදේ සිදුකල මෙහෙයුමක් මඟින්, මත්ද්රව්ය ජාවාරම් කල බවට සැකකෙරෙන, පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ බහුදින ධීවර යාත්රාවක් (01) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත භාර දෙනු ලැබීය.













