මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර 06ක් වැලිගම කප්පරතොට වෙරළ තීරයේදී නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, ශ්රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර ප්රදේශයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ 2026 ඔක්තෝබර් මස 13 වැනි දින නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්රාවක් (01) සමඟ එහි සිටි සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගනු ලැබීය.
ඒ අනුව, එම සැකකරුවන් වෙතින් අනාවරණය කරගත් තොරතුරු මත, ශ්රී ලංකා නාවික හමුදාව, රාජ්ය බුද්ධි සේවාව, ශ්රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බළකාය, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක ප්රථිපලයක් ලෙස, පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අද දින (2026 ඔක්තෝබර් 15) උදෑසන වැලිගම කප්පරතොට වෙරළ තීරයේ සඟවා තිබූ මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර හයක් (06) චන්ද්රිකා දුරකථන දෙකක් (02) සහ අන්තර්ජාල සම්බන්ධතා උපකරණයක් නීතියේ රැහැනට හසුකර ගනු ලැබීය.
මෙම මෙහෙයුම මඟින්, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් පස්දෙනා (05) ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, මත්ද්රව්ය මෙරටින් තුරන් කිරීම සඳහා ධීවර ප්රජාව ඇතුළු මහජනතාව වෙතින් ලබාදෙන සුවිශේෂී සහයෝගය සමඟ, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව විසින් දිවයින වටා වෙරළ තීරය සහ මුහුදු තීරය ආවරණය වන පරිදි මත්ද්රව්ය වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබයි.













