නාවික හමුදාව මඟින් ගාල්ල වක්වැල්ල පාලමෙහි අවහිරතා ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්
ගාල්ල ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඇති වක්වැල්ල පාලම තුළින් ජලය බැස යාම අවහිර වන ලෙස සිරවූ උණ පඳුරු ඇතුළු ශාක කොටස් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, 2026 සැප්තැම්බර් මස 24 වැනි දින නාවික හමුදාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක්ව සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.
දිවයිනට බල පා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ ඇද හැලෙන අධික වර්ශාපතනය හේතුවෙන්, ජල පහරට හසුව ගසාගෙන පැමිණෙන දැව කඳන්, උණ පඳුරු ඇතුළු ශාක කොටස් සහ කැළිකසළ වක්වැල්ල පාලම තුළ සිරවීමෙන් ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වන අතර, මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන දකුණු නාවික විධානය, ජලය බැස යාම යතාවත් කිරීම සඳහා අනෙකුත් පාර්ශවයන් හා එක්ව කඩිනම් පියවර ගනු ලබයි.
ඒ අනුව, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරාගේ අධීක්‍ෂණයෙන් යුතුව, විධාන කිමිදුම් හා ගලවා ගැනීමේ ඒකකය සහ ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයට අනියුක්ත විශේෂ යාත්‍රා බලගණය සහ ක්‍ෂණික යාත්‍රා බලගණය විසින් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් සමඟ සිදුකල මෙම වක්වැල්ල පාලමේ අවහිරතා ඉවත් කිරීමේ මෙහෙයුම මඟින්, පාලම තුළින් ජලය බැසයාම අවහිර වන ලෙස සිරවූ ශාක කොටස් ඇතුළු අවශේෂ මහත් පරිශ්‍රමයක් යොදා ඉවත් කර, ජලය ක්‍රමවත්ව බැසයාමට අවශ්‍ය කටයුතු සිදුකෙරිණි.













