නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 810 කට අධික තොගයක් මීගමුවේදී නීතියේ රැහැනට

19 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මුහුදු ප්‍රදේශයේ 2026 සැප්තැම්බර් මස 18 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින්, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම යාත්‍රාව තුල උර විසි එකක (21) අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් අටසිය දහයකට (810) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 41ක් හා 44ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools