මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 03 ක් යාපනය කුඩරප්පු වෙරළ ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කුඩරප්පු වෙරළ ප්‍රදේශයේ 2026 සැප්තැම්බර් මස 05 වැනි දින උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර, මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ යාත්‍රාවක් (01), මුහුදු කූඩැල්ලන් ගණනින් හයසිය හැත්තෑ තුනක් (673) සහ ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම වෙත්තලකේණි ආයතනය මඟින්, යාපනය කුඩරප්පු වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුම අතරතුරදී සැකකටයුතු යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර, ගොඩ බිම වෙත ප්‍රවාහනය කරමින් සිටි මුහුදු කූඩැල්ලන් තොගය මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 51 ත් 56 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, යාත්‍රාව සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.













