නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 65ක් නීතිය හමුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 01 සිට 11 දක්වා කාල සීමාව තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්; තහනම් ධීවර දැල්, නීති විරෝධි පන්නක්‍රම සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් රථ භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් හැට තුන් දෙනෙකු (63) සහ ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව, කාත්තන්කුඩි නගරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, තහනම් ධීවර දැල් හතලිස් හතරක් (44) සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, මෙම මෙහෙයුම් මඟින් ඩිංගි යාත්‍රා විසි හයක් (26), කැබ් රථයක් (01) සහ ට්‍රැක්ටර් රථ දෙකක් (02) ද නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, ත්‍රිකුණාමලය ජමාලියා, ෆවුල් පොයින්ට්, ඉලන්කන්තෙයි, පරවි දූපත, නඩිතිව් දූපත, ඇලස්වත්ත, නිලාවේලි, යාපනය කඩ්ඩයිකාඩු, වෙත්තලකේණි, චුන්ඩිකුලම් සහ මඩකලපුව ආරුගම්බේ වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර සහ ගිනිකොණ නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා, ට්‍රැක්ටර් රථ, කැබ් රථය හා තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කොඩ්බේ, කින්නියා, මුතූර්, ත්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය සහ පොතුවිල් යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.













