තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටි පුද්ගලයන් පිරිසක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2026 සැප්තැම්බර් 05) තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයන් පිරිසක් මුදවාගෙන, ඔවුන්ට අවශ්‍ය මානුෂීය සහාය ලබා දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද මුර සංචාරයකදී මෙම පිරිස නිරීක්ෂණය කර, ඔවුන් ආරක්ෂිතව මුදවාගෙන ඇත. මෙම පිරිස දකුණු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් පැමිණ ඇති බවට සැක කෙරෙන අතර, එම පිරිස අතර එක් පිරිමි පුද්ගලයෙකු (01), කාන්තාවන් සිව්දෙනෙකු (04) සහ අවුරුදු 02ත් 14ත් අතර වයස්වල පසුවන ළමුන් තිදෙනෙකු (03) ද සිටී.
මෙලෙස මුදවාගත් පිරිස පීඩාවට පත්ව සිටි බැවින් අවශ්‍ය පානීය ජලය, ආහාර සහ තාවකාලික නවාතැන් පහසුකම් ලබාදීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, නාවික හමුදාව විසින් සිදුකළ මූලික විමර්ශනවලදී, මෙම පිරිස ඉන්දියාවේ අනෛයූර් සහ ඔක්කූර් යන සරණාගත කඳවුරු වල සිට රාමේෂ්වරම් ප්‍රදේශය හරහා පැමිණ ඇති බවටත්, මීට පෙර ඉන්දියාවේදී සරණාගතභාවය ඉල්ලා ඇති බවටත් කරුණු අනාවරණය වී ඇත.
එම පුද්ගලයින් ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා අදාළ බලධාරීන් වෙත භාරදීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මුහුදු ආරක්ෂාව තහවුරු කරන අතරතුර ජීවිත ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දක්වන කැපවීම මෙමගින් තහවුරු කරයි.













