පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් මුලතිව්හිදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව අද දින (2026 සැප්තැම්බර් 07) මුලතිව් පුදුමාතලන් වෙරළ ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද මත්ස්‍යයින් තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය, මුලතිව් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය හා එක්ව සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, පුදුමාතලන් වෙරළ ප්‍රදේශයේ මත්ස්‍ය තොග රැස්කර තිබූ සැකකටයුතු ස්ථානයක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද කිලෝ ග්‍රෑම් තුන්දහස් දෙසියයකට (3,200) අධික මත්ස්‍ය තොගයක් සමඟ සැකකාරියක (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් සැකකාරිය වයස අවුරුදු 38ක් වන පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචි බවට හදුනාගෙන ඇති අතර, එම සැකකාරිය සහ මත්ස්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.













