රුපියල් බිලියන 1.5කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81ක පමණ තොගයක් උතරු මුහුදේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2026 සැප්තැම්බර් 27) අලුයම යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සහ මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් බිලියන 1.5කට අධික වීථි වටිනාකමකින් යුත් අයිස්(Crystal Methampitamine) මත්ද්‍රව්‍ය කිලෝ හතලිස් පහයි ග්‍රෑම් පන්සීයයක (45.5) පමණ තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ තිස් පහයි ග්‍රෑම් හත්සියයක (35.7) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
උතුරු නාවික විධානය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය සහ විධාන දියත් අංශ එක්ව සිදුකල මෙම විශේෂ මෙහෙයුමේදී, මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙණ ඩිංගි යාත්‍රාව සමඟ සැකකරුවෙකු එම මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගනු ලැබීය.
ඒ අනුව, නීතියේ රැහැනට හසුකර ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව සිදුකල වැඩිදුර පරීක්ෂාවේදී, එම මත්ද්‍රව්‍ය තොගයෙහි අයිස්(Crystal Methampitamine) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් අසූ එකක (81) පමණ තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරු සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
මේ සම්බන්ධයෙන් බත්තරමුල්ල නාවික හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු අරුණ ජයසේකර මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ නාවික හමුදා වැඩ බලන අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් කොමදෝරු චමින්ද කරුණාසේන යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වූහ. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සමඟාමීව, ‘රටම එකට’ මත්ද්‍රව්‍ය ව්‍යසනයට එරෙහි ජාතික වැඩපිළිවෙල වෙනුවෙන් සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි තීව්ර මෙහෙයුම් නාවික හමුදාව නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන බවත්, නාවික හමුදාව උතුරු මුහුදේ සිදුකල සාර්ථක මෙහෙයුමකින්, අයිස්(Crystal Methampitamine) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81ක පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එය උතුරු මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගත් මෙම වර්ගයේ වැඩිම විෂ මත්ද්‍රව්‍ය තොගයක් වන බවත්, ප්‍රථම වරට කිලෝග්‍රෑම් පහක් අඩංගු අයිස් මත්ද්‍රව්‍ය පාර්සල් මෙම තොගයේ තිබීම විශේෂත්වයක් බවත් පවසන ලදි.
‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය වර්ශයේ රුපියල් බිලියන හැත්තෑ පහකට අධික (75) දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවත්, මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සඳහා අඛණ්ඩව දායක වෙමින් මේ වසරේ ගතවූ කාලය තුල පමණක් රුපියල් බිලියන පනස් හයකට අධික (56) දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වි ඇති බවත් පවසන ලදි. නාවික හමුදාව; වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් සන්නද්ධ හමුදා, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව, දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්ර කර ඇති බැවින්, රටතුලට මත්ද්‍රව්‍ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බව අවධාරණය කල ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා, මත් ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සාර්ථකව සිදුකිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ක්ෂණික දුරකථන අංක 1818 හෝ 1997 ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ලදි. එමෙන්ම, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය මඟින් සිදුකරනු ලබන කාර්යභාරය ඇගයීමටද එහිදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් විසින් සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති උතුරු නාවික විධානය විසින් සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් අයිස්(Crystal Methampitamine) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, උතුරු මුහුදේදී, නාවික හමුදාව අත්අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් බව පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ‘රටම එකට ජාතික මෙහෙයුම’ යටතේ මත්ද්‍රව්‍ය උවදුරෙන් හා එම සමාජ ව්‍යසනයෙන් දැයේ දුවා දරුවන් මුදාගැනීම සඳහා සහ ‘මතින් තොර රටක් - නිරෝගී පුරවැසි දිවියක්’ යන සංකල්පය යථාර්තයක් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, දේශීය හා විදේශීය බුද්ධි සේවාවන් සහ සමුද්‍රිය පාර්ශවකරුවන් මෙන්ම, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා සහයෝගීත්වයෙන්, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම වෙනුවෙන් නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන බව පවසන ලදි.
විශේෂයෙන් මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික උපාංග සහ මෙවලම් ලබා දෙමින් ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් ලැබෙන සහයෝගය ඇගයිමට ලක් කල නාවික හමුදාධිපති, ඒ හේතුවෙන් සංකීර්ණ මෙහෙයුම් පරිසරයක සිදුකෙරෙණ මුහුදේ නාවික මෙහෙයුම් ඉතාමත් සාර්ථකව සිදුකිරීමට හැකියාව ලැබී ඇති බව පවසක ලදි.
ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය සහ සහන ලබා දීම වෙනුවෙන් නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබන අතර, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන සහ ඒ සඳහා අනුබල දෙන හෝ ඒ වෙනුවෙන් දරන කිසිදු ප්රයත්නයක් සාර්ථක වීමට කිසිදු ඉඩක් නොතබන බව අවධාරනය කල නාවික හමුදාධිපති, ආරක්ෂිත, සුරක්ෂිත සහ සමෘද්ධිමත් සාගර කලාපයක් තහවුරු කිරීම සඳහා නාවික හමුදාව කැපවී සිටින බව පවසන ලදි.
එහිදී අදහස් දැක්වූ නාවික හමුදා වැඩ බලන අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් කොමදෝරු චමින්ද කරුණාසේන, නවීන තාක්ෂණික උපාංග හා මෙවලම් උපයෝගී කර ගනිමින් දිවයින වටා වෙරළ තීරය හා දේශීය ජල තීරයේ සිට ගැඹුරු මුහුද දක්වා ආවේක්ෂණ කටයුතු සිදුකරමින්, අනෙකුත් පාර්ශවයන් හා සහයෝගීව, නාවික හමුදාව ‘රටම එකට ජාතික මෙහෙයුම’ වෙනුවෙන් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබන බව පවසන ලදි.
තවද, මෙම විශ මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගත් යාපනය කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී මෙම සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, ‘රටම එකට ජාතික මෙහෙයුම’ යටතේ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් වල දිගුවක් ලෙස උතුරු මුහුදු තීරය ඔස්සේ රටතුලට රැගෙන ඒමට උත්සහ කල විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්, මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම වෙනුවෙන් නාවික හමුදාවට පැවරී ඇති වගකීම ඉටු කිරීම සඳහා ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබන බවත්, පවසන ලදි.













