පී 4447 යාත්‍රාවේ අතුරුදහන් වූ නිලධාරියාගේ යැයි සැක කෙරෙන දේහය සොයා ගැනේ
අගෝස්තු 15 වන දින පී 4447 වේග ප්‍රහාරක යාත්‍රාවට සිදුවූ ආපදාවෙන් පසු අතුරුදහන් වූ බවට වාර්තා වූ නිලධාරියාගේ යැයි සැක කෙරෙන දේහයක් අද දින (2026 සැප්තැම්බර් 04) උදෑසන නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් යාත්‍රාවෙන් සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කරනු ලබයි.
පවතින රළු මුහුදු ස්වභාවය සහ දියයට තත්ත්වයන් හමුවේ මෙම විශේෂිත කිමිදුම් මෙහෙයුම ආරක්ෂිතව සිදු කරන ලදී. ආසන්න වශයෙන් අඩි 80 ක ගැඹුරක යාත්‍රාව ස්ථානගතව තිබූ අතර, එහිදී දිය යට දෘශ්‍යතාව අතිශයින් සීමිත විය. යාත්‍රාවේ සීමිත අභ්‍යන්තර අවකාශයන් මුදාගැනීමේ මෙහෙයුම සිදු කරන කිමිදුම්කරුවන්ට විශාල අමතර අභියෝගයක් විය.
මෙම සිදුවීමෙන් පසුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන අවධානය අතුරුදහන් වූ නිලධාරියා මුදාගැනීම විය. යාත්‍රාවේ සිටි අනෙක් පුද්ගලයින් 11 දෙනා අඟුලාන පොලිසිය සහ ප්‍රාදේශීය ධීවර ප්‍රජාවගේ සහාය ඇතිව සාර්ථකව ගලවා ගත් අතර, අතුරුදහන් වූ නිලධාරියා සොයා පානදුර සිට කොළඹ හරහා හලාවත දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශ සහ වෙරළ තීරය පුරා පුළුල් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලදී.
නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ අනෙකුත් අදාළ ආයතන සමඟ ද සම්බන්ධීකරණය වෙමින්, සෝදිසි මෙහෙයුම සාර්ථකව සිදුකිරීම සඳහා පවත්නා සමුද්‍රීය හා ගුවන් සම්පත් උපරිම අයුරින් යොදවන ලදී.
ඊට සමගාමීව, අනතුරට ලක් වූ යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට ප්‍රයත්නයන් ද සිදු කරන ලදී. මෙම මෙහෙයුම් කඩිනමින් සිදු කිරීම සඳහා, පැවති රළු මුහුදු තත්ත්වයන් සහ අභියෝගාත්මක මුහුදු දිය යට තත්ත්වයන් නිසා බාධා ඇති වූවා පමණක් නොව, කිමිදුම් හා ගලවාගැනීමේ කණ්ඩායමට සැලකිය යුතු අවදානමක් එල්ල කළේය. එබැවින් නාවික හමුදාව එම සියළු තත්ත්වයන් අඛණ්ඩව තක්සේරු කර, මුහුදු දිය යට පරිසරය ආරක්ෂිතව මෙහෙයුම් සිදු කිරීමට අවස්ථාවක් ලැබුණු විට විශේෂිත කිමිදුම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් සිදු කළේය.
අද උදෑසන සොයාගත් දේහය පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය, හඳුනාගැනීම සහ අනෙකුත් සියලු ක්‍රියා පටිපාටි සිදුකිරීමට නියමිතව ඇත. යාත්‍රාව අනතුරට පත්වීමට හේතු වූ සාධක සොයා බැලීම සඳහා විශේෂඥ මණ්ඩලයක් පත් කර ඇත. මුහුදේ ඇති පැරණි ගිලුණු නෞකා සුන්බුන් සමඟ ගැටීමේ හැකියාව පිළිබඳව ගලවාගත් පුද්ගලයින්ගේ මූලික වාර්තා ද පරීක්ෂා කෙරෙමින් ඇත. විමර්ශනය අවසන් වන තෙක් සිදුවීමට හේතුව පිළිබඳ අවසාන නිගමනයකට එළඹීමට හැකියාවක් නැත.
මෙහෙයුම පුරාවටම, නාවික හමුදාවේ ප්‍රමුඛතාවය වූයේ අතුරුදහන් වූ නිලධාරියා සොයා ගැනීම සහ ආපදාවට පත්වූ යාත්‍රාව ගොඩබිම වෙත රැගෙන ඒමයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව පරිපූර්ණ හා වෘත්තීය විමර්ශනයක් තුළින් සිදුවීමේ සම්පූර්ණ තත්ත්වයන් තහවුරු කිරීමට කැපවී සිටින අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදි ලබා දෙනු ඇත.













