SPORT NEWS 2026

2026 අන්තර් විධාන අත්පන්දු තරඟාවලියේ පිරිමි හා කාන්තා ශූරතාවය දියත් විධානය සහ පුහුණු විධානය දිනා ගනියි

30 Jul 2026

2026 අන්තර් විධාන අත්පන්දු තරඟාවලිය - 2026 ජූලි මස 20 සිට 24 දක්වා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අත්පන්දු ක්‍රීඩාංගණයේදී පැවති අතර, තරඟාවලියේ පිරිමි ශූරතාවය දියත් විධානය විසින් සහ එහි කාන්තා ශූරතාවය පුහුණු විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා සියළුම නාවික විධාන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් මහා තරඟයේදී උතුරු මැද නාවික විධානය තරඟ වට 3 - 1 ක් ලෙස පරාජය කරමින්, දියත් විධානය තරඟාවලියේ පිරිමි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය. එහිදී, නායක ඉංජිනේරු කාර්මික ඩීජීසී දේවසුරේන්ද්‍ර දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, කාන්තා අවසන් මහා තරඟයේදී පුහුණු විධාන කණ්ඩායම විසින් දකුණු නාවික විධාන කණ්ඩායම තරඟ වට 3 - 1 ක් ලෙස පරාජය කරමින්, එහි ශූරතාවය හිමි කර ගත් අතර, සාමාන්‍ය නැවි (කාන්තා) එච්ඒටීඩී කුමාරි එහිදී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය දිනාගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අත්පන්දු සංචිතයේ සභාපති හා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල සංජීව ප්‍රේමරත්න, උතුරු මැද නාවික විධානයේ ආඥාපති ඉන්දික ද සිල්වා සහ නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools