SPORT NEWS › 2026

නාවික හමුදාව තුල පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීම යටතේ අභිනවයෙන් ස්ථාපනය කල සූර්ය විදුලිබල පද්ධතියක් දකුණු නාවික විධානයේදී විවෘත කෙරේ

13 Nov 2026

නාවික හමුදාව තුල පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට සමඟාමීව, දකුණු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනය මඟින් පාලනය වන ගාල්ල, පෙට්ටිගලවත්ත, වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මධ්‍යස්ථාන (Onboard Security Team – OBST) සංකීර්ණයේ ස්ථාපනය කරන ලද අභිනව සූර්ය විදුලිබල උත්පාදන පද්ධතිය විවෘත කිරීම, අද දින (2026 නොවැම්බර් 13) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

නාවික හමුදාව තුල විදුලිබල පිරිවැය අවම කිරීම සහ පරිසර හිතකාමී අයුරින් බලශක්ති කළමනාකරණය වඩාත් කාර්යක්‍ෂම කිරීමේ අරමුණෙන් ක්‍රියාවට නංවා ඇති පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට සමඟාමීව, දකුණු නාවික විධානය තුල පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති අටක් (08) ආරම්භ කර ඇත.

ඒ අනුව, අද දින (2026 නොවැම්බර් 13) විවෘත කෙරුණු මෙම දෙවන (02) සූර්ය විදුලිබල පද්ධතිය මඟින් කිලෝ වොට් 160 ක විදුලි බලයක් ජනනය කර ජාතික පද්ධතියට එක්කෙරෙණ අතර, එමඟින් වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ දෛනික විදුලි පරිභෝජන අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවීම සහ ව්‍යපෘතිය සඳහා වැයවන පිරිවැය දිගුකාලීනව පියවා ගැනීමට හැකි වීම වැනි ප්‍රතිලාභ රැසක් නාවික හමුදාවට හිමි වේ.

තවද, මෙම විවෘත කිරීමේ අවස්ථාවේදී, දකුණු නාවික විධානය තුල ක්‍රියාවට නංවා ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති සම්බන්ධ ප්‍රගතිය සහ ප්‍රතිලාභ පිළිබඳව එම ව්‍යාපෘතිය භාර නිලධාරි, කපිතාන් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව (දකුණ), කපිතාන් චාමර නානායක්කාර විසින් නාවික හමුදාධිපති වෙත කරුණු පැහැදිළි කෙරුණු අතර, එම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා සහ එම විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ වීරසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Accessibility Tools