අන්තර් විධාන පාපැදි තරඟාවලිය - 2026 සාර්ථකව නිමාවට පත්වෙයි
අන්තර් විධාන පාපැදි තරඟාවලිය - 2026, ශ්‍රිලංනානෞ තම්බපණ්නි ආයතනයේදි 2026 නොවැම්බර් මස 07 වන දින සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය බටහිර නාවික විධානය විසින් සහ කාන්තා අංශයේ ශූරතාවය දකුණු නාවික විධානය විසින් එහිදී හිමිකර ගැනීමට සමත් විය.
නාවික විධාන නියෝජනය කරමින් ක්‍රීඩකයින් හතලිස් එක් දෙනෙකු (41) සහ ක්‍රීඩිකාවන් විසි පස් දෙනෙකු (25) අන්තර් විධාන පාපැදි තරඟාවලිය - 2026 සඳහා සහභාගී වූහ. කිලෝමීටර් අසූවක (80) දුර ප්‍රමාණයකින් සමන්විත වු පාපැදි පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය, බටහිර නාවික විධාය නියෝජනය කල නායක ඉංජිනේරු කාර්මික ඩබ්ඩීඑම් කුමාර විසින්ද, එහි දෙවන ස්ථානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කල නායක නාවික පාබල එම්පීආර්ආර් ප්‍රියදර්ශන විසින් සහ තෙවන ස්ථානය බටහිර නාවික විධානය නියෝජනය කල සුළු නිලධාරී සීඊ හෙට්ටිආරච්චි විසින් දිනා ගැනීමට සමත් විය.
එමෙන්ම, කිලෝමීටර් පහලොවක (15) දුරකින් යුත් කාන්තා පැපැදි අංශයේ ප්‍රථම ස්ථානය දකුණු නාවික විධානය නියෝජනය කල සාමාන්‍ය නැවි කාන්තා ටිටිඕ විමලරත්න විසින් සහ දෙවන ස්ථානය සාමාන්‍ය නැවි කාන්තා එන්ජීඩබ්එම්එන්කේ විජේසේකර විසින්ද, එහි තෙවන ස්ථානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කල ආධුනික නැවි කාන්තා ටීඑන් ප්‍රේමලාල් විසින්ද දිනා ගැනීමට සමත්විය.
තවද, මෙහි කුසලාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්යක්ෂ ජෙනරාල් අයවැය රියර් අද්මිරාල් අනුරුද්ධ කරුණාතිලක සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා පාපැදි සංචිතයේ ලේකම් කපිතාන් දේශප්‍රිය වීරරත්න, ශ්‍රී ලංකා නාවික නෞකා තම්ඹපණ්ණි ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් බුද්ධික තරංග ඇතුළු නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගි වූහ.













