2026 අන්තර් විධාන ටෙනිස් ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගනියි
‘අන්තර් විධාන ටෙනිස් ශූරතාවලිය - 2026’ ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ටෙනිස් පිටියේදී 2026 අගෝස්තු මස 31 වැනි දින සාර්ථකව නිමාවට පත් වූ අතර, එහි ශූරතාවය බටහිර නාවික විධානය විසින් සහ අනුශූරතාවය පුහුණු විධානය විසින් දිනා ගැනීමට සමත් විය.
2026 අගෝස්තු 25 සිට 31 දක්වා පැවති මෙම තරඟාවලිය සඳහා සියළු නාවික විධාන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය. තරඟාවලිය; ආධුනික, විවෘත ඒකල හා යුගල, වයස අවුරුදු 45න් ඉහල ඒකල හා යුගල සහ වයස අවුරුදු 50න් ඉහල ඒකල හා යුගල යන තරඟ ඉසව් යටතේ පැවැත්වුණු අතර, මෙම වසරේ තරඟාවලිය සඳහා ප්‍රථම වරට කාන්තා සහභාගීත්වයක් ලැබීම විශේෂත්වයක් වුවා පමණක් නොව නාවික හමුදා ටෙනිස් ක්‍රීඩාවේ නව දක්ෂතා හඳුනා ගැනීම හා ඒ සඳහා කාන්තා නියෝජනය දිරිමත් කිරීම සඳහා වැදගත් මුලපිරීමක් විය.
ඒ අනුව, ආධුනික කාණ්ඩයේ පිරිමි ශූරතාවය උප ලුතිනන් තරිඳු කුරුප්පු දිනාගත් අතර, එහි අනුශූරතාවය ලුතිනන් දිල්පහන් මුණසිංහ විසින්ද, එහි ශූරතාවය සාමාන්‍ය නැවි (කාන්තා) ටීඑම්ඩිඑම් තෙන්නකෝන් විසින් සහ එහි අනුශූරතාවය මධ්‍ය නිලධාරී (කාන්තා) එම්පී ගලබඩගේ විසින් දිනා ගැනීමට සමත් විය.
තරඟාවලියේ විවෘත ඒකල ශූරතාවය නායක ශාරීරික අභ්‍යාසක පීඑම්එල්එස් පෙරේරා විසින් සහ එහි අනු ශූරතාවය සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) එන්ජේආර් හේමකුමාර විසින්ද, විවෘත යුගල ශූරතාවය සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) එන්ජේආර් හේමකුමාර හා නායක ශාරීරික අභ්‍යාසක පීඑම්එල්එස් පෙරේරා විසින් සහ එහි අනු ශූරතාවය කපිතාන් නුවන් අරන්දර හා ලුතිනන් කොමාණ්ඩර් සුරේෂ් එරංග විසින්ද දිනා ගැනීමට සමත්විය.
වයස අවුරුදු 45 න් ඉහළ ඒකල ශූරතාවය කපිතාන් නුවන් රවිද්‍රනාත් විසින් සහ එහි අනුශූරතාවය කොමදෝරු ධනන්ජන රාජපක්‍ෂ විසින් දිනාගත් අතර, වයස අවුරුදු 45 න් ඉහළ යුගල ශූරතාවය කොමදෝරු ප්‍රියන්කර දිසානායක හා කපිතාන් නුවන් රවිද්‍රනාත් විසින්ද, එහි අනුශූරතාවය කොමදෝරු දුලිත දේවප්‍රිය හා කොමදෝරු ධනන්ජන රාජපක්‍ෂ විසින්ද දිනා ගන්නා ලදි.
එමෙන්ම, වයස අවුරුදු 50 න් ඉහළ ඒකල ශූරතාවය කොමදෝරු දුලිත් දේවප්‍රිය විසින් සහ එහි අනුශූරතාවය කොමදෝරු ප්‍රියන්කර දිසානායක විසින් දිනා ගත් අතර, වයස අවුරුදු 50 න් ඉහළ යුගල ශූරතාවය කොමදෝරු ප්‍රියන්කර දිසානායක හා කොමදෝරු ධනන්ජන රාජපක්‍ෂ විසින් සහ එහි අනුශූරතාවය කොමදෝරු මලින් පෙරේරා හා කොමදෝරු දුලිත් දේවප්‍රිය විසින් දිනා ගැනීමට සමත්විය.
තවද, ‘අන්තර් විධාන ටෙනිස් ශූරතාවලිය - 2026’ හි ත්‍යාග ප්‍රදානෝත්සවය නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය ඇතුළු සියළුම විධාන නියෝජනය කරමින් නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.













