EVENT NEWS 2026

නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ අතරමැදි නිවාස 35ක් නුවරඑළිය අවතැන් පවුල් වෙත භාරදෙයි

05 Aug 2026

‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ නුවරඑළිය යුනික් වීව් ගම්මානයේ පවුල් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද අතරමැදි නිවාස තිස්පහක් (35) ජනතා අයිතියට පත්කිරීම අද දින (2026 අගෝස්තු 05) නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නාවික හමුදා සාමාජිකයින් සියයක (100) ගේ පමණ ශ්‍රම දායකත්වයෙන් දින හැත්තෑ පහක් (75) වැනි කෙටි කාලසීමාවක් තුළ ඉදිකරන ලද මෙම අතරමැදි නිවාස ව්‍යාපෘතිය, ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සුරක්ෂිත හා ගෞරවාන්විත නේවාසික පහසුකම් සලසා දීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරිණි. ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM), යුනිසෙෆ් (UNICEF) සහ ශ්‍රී ලංකා රජය මූල්‍ය දායකත්වය ලබාදී තිබූ අතර, එමගින් නුවරඑළිය යුනික් වීව් ගම්මානයේ අවතැන් වූ පවුල් තිස්පහකට (35) නව නේවාසික පහසුකම් හිමිවිය.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ වගකීම, විනය සහ කාර්යක්ෂමතාව මැනවින් විදහා දක්වන තවත් සාර්ථක වැඩසටහනක් ලෙස සැලකෙන අතර, ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවන තත්ත්වය යළි නංවාලීම සඳහා නාවික හමුදාව දක්වන අඛණ්ඩ කැපවීම ද මෙයින් යළිත් තහවුරු වෙයි.

මෙම අවස්ථාවට, නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාලිකා ලිඳකුඹුර මහත්මිය, ප්‍රාදේශීය ලේකම් ලහිරු කළුගම්පිටිය මහතා, නගරාධිපති උපාලි වනිගසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් හේමන්ත රණසිංහ ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් එක්ව සිටියහ.

Accessibility Tools