EVENT NEWS 2026

නාවික හමුදා පුද්ගලයන් 11 දෙනෙකුගේ ජීවිත ගලවාගැනීමට දායකවූ පුරවැසියන් වෙත නාවික හමුදාධිපති ප්‍රශංසාව පළකරයි

18 Aug 2026

2026 අගෝස්තු 15 වැනි දින අඟුලාන මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් පී 4447 වේග ප්‍රහාරක මුර යාත්‍රාව ආපදාවට ලක්වීමෙන් අනතුරුව, රළු මුහුදු තත්ත්වය නොතකා ක්ෂණිකව මැදිහත්වී එහි සිටි නාවික හමුදා පුද්ගලයන් එකොළෙස් දෙනෙකු (11) දෙනාගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට දායක වූ අඟුලාන ප්‍රදේශයේ සිවිල් පුරවැසියන් දහ හතර දෙනෙකු (14) ඇගයීමට ලක් කරමින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කිරීම අද දින (2026 අගෝස්තු 18) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කරන ලදී.

එමෙන්ම, මෙම තීරණාත්මක අවස්ථාවේදී සිය ජීවිත අවදානම පවා නොතකා සිදු කළ එම සුවිශේෂී මැදිහත්වීම සහ උදාර මානුෂීය ක්‍රියාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කෘතඥතාව හා ප්‍රශංසාව පළ කළ නාවික හමුදාධිපති, නාවික හමුදා පුද්ගලයන්ගේ ජීවිත රැක ගැනීම සඳහා එම පුරවැසියන් ඉටු කළ උතුම් පුරවැසි යුතුකම සහ මානුෂීය මැදිහත්වීම, සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට මෙන්ම ලොවටද උදාර ආදර්ශයක් සපයන ක්‍රියාවක් බව අවධාරණය කළේය

මෙම අවස්ථාවට බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ඇතුළු නාවික හමුදා මුලස්ථානය සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Accessibility Tools