EVENT NEWS 2026

2026 අන්තර් විධාන සරඹ තරඟාවලියේ සමස්ථ ශූරතාවය උතුරු මැද නාවික විධානයට

03 Aug 2026

නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය, 2026 අගෝස්තු මස 01 සහ 02 දෙදින ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේදී පැවැත්වූණු අතර, එහි සමස්ථ ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

අන්තර් විධාන සරඹ තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කිරීම මඟින්, නාවික හමුදා පුද්ගලයින්ගේ මනා විනය, පැවැත්ම සහ අණදීමේ හැකියාව වර්ධනය කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කරනු ලබයි.

දහතුන්වන (13) වරටත් පවත්වන ලද අන්තර් විධාන සරඹ තරඟාවලිය සඳහා බටහිර, නැගෙනහිර, දකුණ, උතුර, උතුරු මැද, ගිණිකොණ, වයඹ, දියත් සහ පුහුණු යන විධාන නියෝජනය කරමින් කණ්ඩායම් නවයක් (09) සහ කාන්තා නාවිකයින් නි‍යෝජනය කරමින් එක් (01) කණ්ඩායමක් වශයෙන් කණ්ඩායම් දහයක් (10) සහභාගී විය.

මනා අණ හා පාලනය සහ ආකර්ෂණීය සරඹ විලාශයක් පෙන්නුම්කල උතුරු මැද නාවික විධානය, 2026 අන්තර් විධාන සරඹ තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය. එහි අනුශූරතාවය බටහිර නාවික විධානය හිමි කරගත් අතර, තරඟාවලියේ දක්ෂතම අණදීමේ නිලධාරියාට හිමි කුසලානය උතුරු මැද නාවික විධානයේ ලුතිනන් කොමාණ්ඩර් කුෂාන් තෙන්නකෝන් විසින් සහ දක්ෂතම සරඹ ඉදිරිපත් කළ නාවිකයාට හිමි කුසලානය සාමාන්‍ය නැවි ඩීඑම්ඩීඩී රාජරත්න විසින් හිමිකර ගන්නා ලදි.

තවද, මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ පුහුණු විධායක කොමාණ්ඩර් කසුන් නුවරපක්‍ෂ ඇතුළු නාවික හමුදා පුද්ගලයින් සහ යුද හා ගුවන් හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools