නාවික හමුදාධිපති නැව් මුළුව අමතමින් ඉදිරි ප්‍රමුඛතා අවධාරණය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාධිපතිවරයා ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2026 ජූලි 07) නාවික මූලස්ථානයේදී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නාවික හමුදා සාමාජිකයන් අමතනු ලැබීය.
එහිදී, නාවික හමුදාවේ ඉදිරි කාර්යභාරය මෙහෙයවනු ලබන ප්‍රධාන ප්‍රමුඛතා තුනක් පිළිබඳව නාවික හමුදාධිපතිතුමන් අවධාරණය කරන ලදි. ඒ අනුව, මෙහිදී, පළමු ප්‍රමුඛතාවය ලෙස ඉහළ වෘත්තීයමය නිපුණතාවයෙන් හා විශිෂ්ට සූදානමකින් (Operational Readiness) යුත් නාවික හමුදාවක් ගොඩනැගීම, දෙවන ප්‍රමුඛතාවය වශයෙන් කාර්යක්ෂම, වගකීම් සහගත මෙන්ම නවීන තාක්‍ෂණික දැනුම හා නවෝත්පාදන සමඟ ඉදිරියට ගමන් කරන ආයතනයක් ගොඩනැගීම සහ තෙවන ප්‍රමුඛතාවය ලෙස නාවික පුද්ගලයන්ගේ සහ සමස්ත නාවික ප්‍රජාවේ සුබසාධනය, දියුණුව සහ සවිබල ගැන්වීම තවදුරටත් ශක්තිමත් කිරීම යන ප්‍රමුඛ කරුණු ත්‍රික්වය දක්න ලදි.
මේ අනුව, නායකත්ව දර්ශනය පිළිබඳ අදහස් දක්වමින් නාවික හමුදාධිපති වැඩිදුරටත් සඳහන් කළේ, පක්ෂපාතිත්වය යනු පුද්ගලයන් කෙරෙහි දක්වන පක්ෂපාතී භාවය නොව, සත්‍යය, යුක්තිය හා ආයතනයේ යහපත කෙරෙහි නොසැලෙන බැඳීමක් බවයි. අපි ගන්න සෑම තීරණයක්ම පෞද්ගලික වාසි මත නොව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා රටේ පොදු යහපත මුල් කරගෙන ගත යුතු බවත්, එවැනි ප්‍රතිපත්තිගරුක තීරණ ගැනීමේ සංස්කෘතියක් තුළින් විශ්වාසනීය, සාධාරණ හා ශක්තිමත් නාවික හමුදාවක් ගොඩනැඟිය හැකි බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.
මෙහිදී, මෙම ප්‍රමුඛතා සාක්ෂාත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ නාවික හමුදාධිපතිතුමන්, සේවය කෙරෙහි ඇති පක්ෂපාතිත්වය, වෘත්තීමය දක්ෂතාවය සහ අභියෝග හමුවේ නොසැලී කටයුතු කිරීමේ හැකියාව නාවික හමුදා සාමාජිකයන් සතු විය යුතු මූලික ගුණාංග ලෙස පෙන්වා දුන්නේය. එමෙන්ම, නාවික හමුදාවේ ප්‍රගතිය සඳහා දායක වෙමින් ඉහළම වෘත්තීමය ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කැපවීමෙන් කටයුතු කරන ලෙස සියලු නාවික හමුදා පුද්ගලයි හට අවධාරනය කරන ලදි.
තවද, වර්තමාන නාවික හමුදාව ගොඩනැගීම උදෙසා කැපවීමෙන් සේවය කළ හිටපු නාවික හමුදාධිපතිවරුන් සහ නාවික හමුදා සාමාජිකයන්ගේ අමිල සේවය හා කැපකිරීම්ද නාවික හමුදාධිපතිතුමන්ගේ මෙහිදී ඇගයීමට ලක් විය.
මෙම අවස්ථාව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නැරඹීමට නාවික හමුදා මූලස්ථානය ඇතුළු සියළුම නාවික විධානයන්ගේ නාවික හමුදා පුද්ගලයින්හට සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන්හට ද අවස්ථාව උදාවිය.













