EVENT NEWS 2026

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවෙයි

06 Jul 2026

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද (2026 ජූලි 06) ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ නිල වශයෙන් හමුවිය.

හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම නිල හමුව සඳහා යුද්ධ හමුදා මූලස්ථානය වෙත සම්ප්‍රාප්ත වූ නාවික හමුදාධිපතිවරයා, යුද්ධ හමුදාවේ අභිමානවත් හමුදා සම්ප්‍රදායන් මැනවින් පිළිබිඹු වන අයුරින් පිරිනමන ලද සම්ප්‍රදායානුකූල උත්තමාචාර මධ්‍යයේ ගෞරවාන්විත අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව පැවති සුහද හමුවේදී නාවික හමුදාධිපති සහ යුද්ධ හමුදාධිපති අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ අදහස් හුවමාරු කරගනු ලැබීය. එහිදී, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යභාරයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරන තීරණාත්මක දායකත්වය මෙන්ම, ඉදිරියේදී අන්තර් සේවා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරිණි.

එමෙන්ම, සහෝදර හමුදා අතර පවතින ශක්තිමත් බැඳීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් සංකේතවත් කරමින්, මෙම නිල හමුව අවසානයේ දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Accessibility Tools