EVENT NEWS 2026

Hiking Team Challenge 2026 තරඟාවලියේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාවට

30 Jul 2026

Trekker Adventure Academy (Pvt) Ltd ආයතනය විසින් සංවිධානය කරන ලද Hiking Team Challenge 2026 ත්‍රාසජනක කඳු නැගීමේ තරඟාවලිය 2026 ජූලි මස 24 සිට 26 දක්වා මධ්‍යම කඳුකරයේ මනස්කාන්ත පූනාගල කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව අතිසාර්ථක ලෙස පැවැත්විණි. එම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රාසජනක හා ස්වභාවික ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් සහභාගී වූ Poseidon සහ Sea Adventure කණ්ඩායම් පිළිවෙළින් සමස්ත ශූරතාව සහ අනුශූරතාව දිනා ගනිමින් සුවිශේෂී දස්කමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වූහ.

Poseidon, Sea Adventure, Air Warriorz සහ Highland Wolves යන කණ්ඩායම් හතරකගේ (04) සහභාගීත්වයෙන් දින තුනක් (03) පුරා පැවති මෙම තරඟාවලිය, ස්වභාවික සෞන්දර්යයෙන් හා අභියෝගාත්මක භූ විෂමතාවයෙන් සමන්විත පූනාගල කඳුකරයේ විවිධ දුෂ්කර මාර්ග ආවරණය කරමින් සංවිධානය කර තිබිණි. තරඟකරුවන්ගේ නායකත්වය, කණ්ඩායම් හැඟීම, විඳදරාගැනීම, ශාරීරික යෝග්‍යතාව, මං සෙවීමේ (Navigation) හැකියාව, ප්‍රථමාධාර දැනුම, සාමාන්‍ය දැනීම සහ අභියෝගාත්මක තත්ත්වයන් යටතේ කඩිනම් හා නිවැරදි තීරණ ගැනීමේ කුසලතා මෙහිදී පුළුල් ලෙස ඇගයීමට ලක් කෙරිණි.

මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ ලුතිනන් කොමාණ්ඩර් යොවුන් සංකල්පන, තරඟාවලිය පුරා ප්‍රදර්ශනය කළ විශිෂ්ට දිශානති හැකියාවන් සහ උසස් මං සෙවීමේ සැලසුම්කරණ දක්ෂතාව වෙනුවෙන් ‘Best Navigator’ සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර, ලුතිනන් කොමාණ්ඩර් තිලින වීරසිංහ අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ සිය කණ්ඩායම දක්ෂ ලෙස මෙහෙයවමින්, සම්බන්ධීකරණය සහ ආදර්ශවත් නායකත්වය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ‘Best Team Leader’ සම්මානය හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය, අභියෝගාත්මක හා ත්‍රාසජනක ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ නාවික හමුදාව සතු විශිෂ්ට වෘත්තීය හැකියාව, විනය, කණ්ඩායම් හැඟීම සහ ශක්තිමත් නායකත්වය යළිත් වරක් ජාතික මට්ටමින් තහවුරු කළ ජයග්‍රහණයක් ලෙස සැලකේ. එමෙන්ම, ඕනෑම දුෂ්කර පරිසරයකදී කණ්ඩායම් සම්බන්ධීකරණය, නිවැරදි සැලසුම්කරණය සහ අධිෂ්ඨානය මත අභියෝග ජය ගැනීමේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අසමසම හැකියාව ද මෙම ජයග්‍රහණය මඟින් මැනවින් විදහා දක්වයි.

Accessibility Tools