ඩෙංගු උවදුර මැඩලීමේ ජාතික මෙහෙයුමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය
“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාව පෙරදැරි කරගනිමින්, සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන ජාතික ඩෙංගු මර්දන මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබා දෙමින් සිටියි. මෙම දැවැන්ත ජාතික කර්තව්‍යය සඳහා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිසර ආරක්‍ෂණ අංශය යන ආයතන සමඟ ඒකාබද්ධව කටයුතු කරනු ලබයි.
2026 ජූලි මස 14 වන දිනට මෙම ඩෙංගු මර්දන වැඩසටහනේ දසවන (10) දිනය සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් හැට එක් දෙනෙකු (61) මෙම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දක්වන ලදි. ඒ අනුව බොරැල්ල, වත්තල, කෝට්ටේ, නාරාහේන්පිට, මෝදර, මහර, පානදුර සහ ගම්පහ යන ප්‍රදේශයන්හි ස්ථාන එක්දහස් අටසිය තිස් දෙකක් (1,832) පරීක්‍ෂාවට ලක් කෙරුණු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පනස් හතරක් (54) හදුනා ගන්නා ලදි.
මෙම ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, පරිසරය විධිමත්ව පරීක්‍ෂා කොට ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන, ඒවා ඉවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතු සියලුම නාවික විධානයන් තුලද අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.













