ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩ සටහනට නාවික හමුදාවේ දායකත්වය
“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාවට අනුව, මහජන සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන මෙහෙයුම සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබා දෙයි. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිසර ආරක්‍ෂණ අංශය එක්ව සංවිධානය කරන මෙම ජාතික වැඩ සටහන මගින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සහ ජනතාව අතර සෞඛ්‍යාරක්‍ෂක දැනුවත්භාවය වර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත.
2026 ජූලි මස 20 වන දිනට මෙම ඩෙංගු මර්දන වැඩ සටහනේ පහලොස් වන (15) දිනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන්, සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධාන සාමාජිකයින් සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් අනූ දෙනෙකු (90) මෙම ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දක්වන ලදි. ඒ අනුව, මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල, නාරාහේන්පිට, කැළණිය, මහර, වත්තල, ගම්පහ, රාගම සහ පානදුර යන ප්‍රදේශයන්හි ස්ථාන තුන්දහස් හාරසිය හැත්තෑවක් (3,470) පරීක්‍ෂාවට ලක් කෙරුණු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හැට එකක් (61) හදුනා ගන්නා ලදි.
මෙම ජාතික ඩෙංගු මර්දන මෙහෙයුමට සමගාමීව, ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගැනීම සඳහා සියලුම නාවික විධානයන් තුළ විධිමත් පරිසර පරීක්‍ෂණ සිදු කරනු ලබන අතර, අනතුරුව එම ස්ථාන පිරිසිදු කිරීම හා විනාශ කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.













