මාරාන්තික ඩෙංගු උවදුර පරදවන ජාතික මෙහෙවරට නාවික හමුදා සහය
නාවික හමුදාව, ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමඟාමීව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්‍ෂක අංශය හා එක්ව 2026 ජූලි මස 05 වන දින සිට 12 වන දින දක්වා ඩෙංගු මර්දනය සඳහා පුළුල් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇත.
"ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" (Towards a Dengue-Free Colombo)යන තේමාව යටතේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධාන සාමාජිකයින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් හැත්තෑවකට (70) කට අධික පිරිසක් මේ සඳහා මහත් කැපවීමෙන් යුතුව කටයුතු කර ඇත. මේ යටතේ අද දින (2026 ජුලි 06) නාරාහේන්පිට, මහර, වත්තල, මට්ටක්කුලිය, බොරැල්ල සහ ඇතුල්කෝට්ටේ සහ පානදුර යන ප්‍රදේශයන්හි ස්ථාන හැත්තෑ තුනක් (73) පරීක්‍ෂාවට ලක්කෙරුණු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන එක්දහස් හයසිය පනස් එකක (1651) හදුනාගන්නා ලදි. තවද, ඩෙංගු මර්දන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් දෙසීය විසි අටක් (228) මෙම පුළුල් ඩෙංගු මර්දන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලදි.
මෙම ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, නාවික හමුදාවේ අනෙකුත් විධානයන් මඟින්ද ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී පරිසර පද්ධතීන් දැඩි ලෙස පරීක්‍ෂාවට ලක් කරමින් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හදුනා ගැනිමට සහ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරිණි. නාවික හමුදා කඳවුරු ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයන් බවට පත්කර ගැනීමේ අරමුණින්, නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන් තුළද ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් සිදුකර ඇත.
2026 ජූලි 06 වන දින බටහිර නාවික විධානයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ගේ සහය ලබාදීම













