නාවික හමුදාධිපති ගිනිකොන නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2026 ජුනි මස 13 සහ 14 දෙදින ගිනිකොන නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සුභසාධන සහ සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කර, එම කටයුතු කාර්‍යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී, නාවික හමුදාවේ කාර්යය භාරය හා මෙහෙයුම් අභිප්‍රාය සම්බන්ධයෙන් එම විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති ගිනිකොන නාවික විධානය වෙත, එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නිමල් රණසිංහ විසින් පිළිගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේදී ගිනිකොන නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් අමතමින් නාවික හමුදාවේ කාර්ය භාරය, මෙහෙයුම් අභිප්‍රාය, සම්බන්ධයෙන් එම විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කෙරිණි.
තවද, මෙම නිල සංචාරයේදී නාවික හමුදාධිපති විසින් අම්පාර සහ මඩකලපුව ප්‍රදේශයන්හි සහකාර ධීවර අධ්‍යක්‍ෂකවරුන් හමුවී ගිනිකොන මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කෙරෙන නීති විරෝධී ධීවර ක්‍රියාකාරකම් වැළැක්වීම, මත්ස්‍ය සම්පත් ආරක්‍ෂා කිරීම සහ නීත්‍යානුකූල ධිවර කටයුතු සිදු කරන ධිවරයින් සුරක්‍ෂිත කිරීම සඳහා නාවික හමුදාව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමද සිදු කෙරිණි.













