EVENT NEWS › 2026

ගුවන් හමුදාවේ ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් පැවති ජලයේ නොනැසී සිටීමේ දෙවන පුහුණු පාඨමාලාව විශේෂ යාත්‍රා බලඝන පුහුණු පාසලේදී සාර්ථකව නිමාවට පත්වෙයි

06 Nov 2026

ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේදී 2026 ඔක්තෝබර් මස 26 දින ආරම්භ වු, ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා කාර්ය මණ්ඩලය වෙනුවෙන් පවත්වන ලද ජලයේ නොනැසී සිටීමේ (Water Survival Training Course) දෙවන පුහුණු පාඨමාලාව 2026 නොවැම්බර් මස 05 වන දින සාර්ථකව නිමාවට පත් වූ අතර, එහි සහතිකපත් ප්‍රධානය විශේෂ යාත්‍රා බලඝන පුහුණු පාසලේ පුහුණු විධායක කොමාණ්ඩර් තිස්ස කුමාරගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව, සමුද්‍රීය පරිසරයන්හිදී ඇතිවිය හැකි හදිසි අවස්ථාවන්ට සාර්ථකව මුහුණදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ජලයේ නොනැසී සිටීමේ හැකියාවන් සහ සූදානම වර්ධනය කිරීමේ අරමුණින් පැවති මෙම පුහුණු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පස් දෙනෙකු (05) සහ සෙසු නිලයන් පහලොස් දෙනෙකු (15) දෙනෙකු ඇතුළු සාමාජිකයින් විසි දෙනෙකු (20) දෙනෙකු සහභාගී විය.

ජලයේ පිහිනීම, ජලය මත පාවීමේ ක්‍රමවේද, දිය යටින් ගැලවී යාමේ ක්‍රමවේද, මුහුදේදී දිවි ගලවාගැනීම, හදිසි අනතුරු වෙත ලක්වූවන්ට ප්‍රථමාධාර ලබාදීම සහ මුදාගැනීමේ ක්‍රමවේද පිළිබඳව න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු සැසි ඇතුළත් වූ මෙම පුහුණු පාඨමාලාවේ අවසන් පුහුණු අභ්‍යාසය ත්‍රිකුණාමලය වරාය තුළ පිහිටි දූපත් පරිසරයේ පැය 18ක කාලයක් පුරා පැවැත්විණි.

තවද, මෙම පුහුණු වැඩසටහන මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර අන්තර් සේවා සහයෝගීතාව සහ ඒකාබද්ධ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් ශක්තිමත් වීමට විශේෂ දායකත්වයක් ගෙන දෙනු ඇත.

Accessibility Tools