EVENT NEWS › 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතික ඵලදායිතා සම්මාන 2025/2026 හි රාජ්‍ය අංශයේ අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩයේ පළමු ස්ථාන අතරට පැමිණෙයි

08 Nov 2026

ජාතික ඵලදායිතා සම්මාන 2025/2026 හිදී රාජ්‍ය අංශයේ අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩයේ පළමු ස්ථාන හිමිකරගත් ආයතන හතර (04) වෙත ඇතුළත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාව ‍ජාතික ඵලදායීතා සම්මානය දිනා ගැනිමට සමත් විය. ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (2026 නොවැම්බර් 08) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදාන උත්සවයේදී, ගරු ජනාධිපති තුමන් විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත එම ඵලදායිතා සම්මානය පිරිනමණු ලැබීය.

ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික වැඩසටහනක් වේ. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන හා සමඟාමීව, මෙම තරඟාවලිය මඟින් රාජ්‍ය, පෞද්ගලික, පාසල් සහ ක්ෂුද්‍ර ව්‍යවසාය ඇතුළු විවිධ අංශයන්හි කැපී පෙනෙන කාර්ය සාධනය, කාර්යක්ෂමතාව සහ නවෝත්පාදනයන් ඇගයීමට ලක් කරමින් දිවයින පුරා ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම අපේක්‍ෂා කර ඇත.

ඒ අනුව, නාවික හමුදාවේ; නාවික හා සාගරික විද්‍යාපීඨය, කොමදෝරු අධිකාරි තටාකාංගනය (නැගෙනහිර), නීල හරිත ව්‍යාපෘතිය, පර්යේෂණ හා සංවර්ධන ඒකකය, යන්ත්‍ර පරීක්‍ෂණ ඒකකය සහ නාවික යාත්‍රා තැනීමේ අංගනය යන ආයතන හා ඒකක හයක් (06) මෙම ඇගයීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඉදිරිපත් විය.

මෙම ඒකකයන් ඉහල කාර්යක්ෂමතාවයකින් හා පලදායිතාවයකින් යුතුව මෙහෙයවීම වෙනුවෙන් ලබාදුන් නිවැරදි නායකත්වය, සේවාලාභින්ගේ අදහස්, සැලසුම් හා උපායමාර්ගික දැක්ම, මානව සම්පත් කළමනාකරණය, ක්‍රියාවලි සහ දැනුම් කළමනාකරණය, සංවිධානයේ ප්‍රතිඵල සහ ඵලදායී නවෝත්පාදන ව්‍යාපෘති යන නිර්ණායක මෙම ඵලදායිතා සම්මාන හිමිගැන්වීම සඳහා ප්‍රධාන ඇගැයීමේ නිර්ණායක විය. එම නිර්ණායක මත සිදුකෙරුණු ඇගයීම් ක්‍රියාවලියේදී, රාජ්‍ය අංශයේ අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩයේ පළමු ස්ථාන හිමිකරගත් ආයතන හතර (04) වෙත ඇතුළත් වීමට හැකිවීම, නාවික හමුදාව ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් පමණක් නොව, අභිමානවත් සම්ප්‍රදායන් සුරැකීම වෙනුවෙන් වූ අඛණ්ඩ කැපවීමද පිළිබිඹු කරනු ලබයි.

තවද, මෙම අවස්තාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් හසන්ත දිසානායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රතිපත්ති හා සැලසුම් රියර් අද්මිරාල් ජයන්ත බණ්ඩාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ. එමෙන්ම, ජාතික ඵලදායිතා සම්මාන 2025/ 2026 සඳහා ඉදිරිපත් වූ ආයතන හා ඒකක නියෝජනය කරමින්; නාවික හා සාගරික විද්‍යාපීඨය වෙනුවෙන් එම විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු නලින්ද දිසානායක, නාවික යාත්‍රා තැනීමේ අංගනය නියෝජනය කරමින් එහි කළමණාකරු කොමාණ්ඩර් අරුනෝද සමරනායක, නීල හරිත ව්‍යාපෘතිය නියෝජනය කරමින් කොමාණ්ඩර් ගිහාන් ප්‍රේමතිලක, යන්ත්‍ර පරීක්‍ෂණ ඒකකය නියෝජනය කරමින් ලුතිනන් කොමාණ්ඩර් සරත් ජයසිංහ, කොමදෝරු අධිකාරි තටාකාංගනය (නැගෙනහිර) නියෝජනය කරමින් ලුතිනන් කොමාණ්ඩර් හසිත දිල්ශාන් සහ පර්යේෂණ හා සංවර්ධන ඒකකය නියෝජනය කරමින් ලුතිනන් කොමාණ්ඩර් චාමර කුරුවිට බණ්ඩාර යන නිලධාරින් සහභාගී වූහ.

Accessibility Tools