EVENT NEWS › 2026

ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේ වැඩිදියුණු කල සුබසාධන හා යටිතල පහසුකම් විවෘත කෙරේ

31 Oct 2026

නාවික හමුදා පුද්ගලයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණෙන්, ත්‍රීකුණාමලය ශ්‍රී ලංකා නාවික තටාකාංගණ ආයතනයෙහි අභිනව සිනමා ශාලාව (Mini Theatre) සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ කොරල් කෝව් වෙරළ තීරයේ ඉදිකල අභිනව යෝගා අභ්‍යාස ශාලාව විවෘත කිරීම, 2026 ඔක්තෝබර් මස 31 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නාවික තටාකාංගණ ආයතනයෙහි පැවති ගොඩනැගිල්ලක් කුඩා සිනමා ශාලාවක් ලෙස වායුසමීකරණ පහසුකම් සහිතව, එකවර හැට දෙනෙකු (60) සඳහා ආසන පහසුකම් සහිතව නවීකරණය කර, ස්ථාපනය කෙරුණු අභිනව සිනමා ශාලාව සහ නාවික හා සාගරික විද්‍යාපීඨයට අයත් කොරල් කෝව් වෙරළ තීරයේ පැවති යෝගා අභ්‍යාස ශාලාව නවීකරණය කිරීමෙන් පසුව ස්ථාපනය කල නව යෝගා අභ්‍යාස ශාලාව මෙලෙස නාවික හමුදාධිපති විසින් විවෘත කරනු ලැබීය. එමෙන්ම, අභිනව යෝගා ශාලාව විවෘත කිරීමට සමඟාමීව සංවිධානය කෙරුණු යෝගා අභ්‍යාස වැඩසටහනක් නිරීක්‍ෂණය කිරීම සඳහා ද සහභාගි වූ නාවික හමුදාධිපති එම අභ්‍යාසය සඳහා සහභාගි වූ නාවික හමුදා පුද්ගලයන් දිරිගන්වමින් කෙටි දේශනයක් ද එහිදි සිදුකරනු ලැබීය.

තවද, ශ්‍රී ලංකා නාවික තටාකාංගණයේ අණදෙන නිලධාරි කපිතාන් සමන් රත්නායකගේ සංකල්පයකට අනුව, නාවික තටාකාංගණ ආයතනය තුල ‘කලා අරණ’ (ND Art Corner), ‘ආපනශාලාව’ (ND Cafe), පළතුරු බීම අළෙවිසැළ (Juice Bar) සහ ‘රෙදි සේදීමේ පහසුකම් ගොඩනැගිල්ල’ (Dockyard Laundry) ඉදිකර ඇති අතර, අභිනවයෙන් ඉදිකෙරුණු සිනමා ශාලාවට යාබද ‘ND Art Corner’ පරිශ්‍රය නිරීක්‍ෂණය සඳහා සහභාගි වූ නාවික හමුදාධිපති, එම පරිශ්‍රයේ නාවික හමුදා පුද්ගලයන් විසින් සිදුකල සිතුවම් නිර්මාණ අතරින් තෝරා ගන්නා ලද ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමද සිදුකරනු ලැබීය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස වැඩභාර ගැනීමට නියමිත රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස්, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු චමින්ද ගුණරත්න, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු නලින්ද දිසානායක ඇතුළු ධජ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික තටාකාංගණයේ අණදෙන නිලධාරි කපිතාන් සමන් රත්නායක ඇතුළු නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගි වූහ.

Accessibility Tools