EVENT NEWS 2026

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේදී ප්‍රති සබ්මැරීන සංග්‍රාම පිළිබඳ ප්‍රදර්ශනයක්

19 Sep 2026

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ දිය යට සංග්‍රාමික පාසල මඟින් ‘The Abyss’ යන තේමාව යටතේ සංවිධානය කරන ලද ප්‍රති සබ්මැරීන සංග්‍රාම පිළිබඳ ප්‍රදර්ශනය සහ සබ්මැරීන සමාකෘතියක් ප්‍රදර්ශනය කිරීම, 2026 සැප්තැම්බර් මස 18 සිට 20 දක්වා පැවැත්වෙන අතර, එහි සමාරම්භක අවස්ථාව දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරාගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති කපිතාන් රසික පියසේනගේ අධීක්‍ෂණයෙන්, දිය යට සංග්‍රාමික අවි (UC/UW) තුන්වන අදියර පුහුණුව ලබන නාවිකයින් විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය මඟින්; ප්‍රතිසබ්මැරීන සංග්‍රාම, අවි හා සංවේදක පද්ධති, දිය යට ශබ්ද හඳුනාගැනීම සහ සබ්මැරීන මෙහෙයුම් පිළිබඳ නාවික හමුදා පුද්ගලයන්ගේ දැනුම හා ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීම අපේ‍ක්‍ෂා කෙරේ.

තවද, මෙම ප්‍රදර්ශනයට සමඟාමීව ප්‍රති සබ්මැරීන සංග්‍රාමික පාසලේ ස්ථාපනය කළ ඒකාබද්ධ දත්ත රැස්කිරීමේ හා ලුහුබැඳීමේ පද්ධතිය (Integrated Data Collection and Tracking - IDCT) නිල වශයෙන් විවෘත කිරීම ද සිදුකෙරුණු අතර, දිය යට ප්‍රතිධ්වනි හඳුනාගැනීමේ පුහුණුව සඳහා භාවිත වන මෙම පද්ධතිය, ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ ස්ථාපිත එකම පද්ධතිය වේ.

Accessibility Tools