EVENT NEWS › 2026

නාවික හෙද විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 40ක් වෙත ඩිප්ලෝමා සහතික ප්‍රධානය කෙරේ

30 Sep 2026

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත, කොළඹ නාවික මහ රෝහලෙහි පිහිටි නාවික හෙද විදුහලේ, 2024 වර්ෂයේ බඳවා ගැනීමට අයත් ත්‍රිවිධ හමුදා හෙද සිසු සිසුවියන් හතලිස් දෙනෙකු (40) සඳහා ඩිප්ලෝමා සහතික පත් ප්‍රධානය කිරීම, 2026 සැප්තැම්බර් මස 29 වැනි දින ජෙනරාල් ශ්‍රී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (අධ්‍යයන) මහාචාර්ය චරිත එල් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්, එම විශ්ව විද්‍යාලීය රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව, හෙද පුහුණු පාසලේ දෙවසරක හෙද ඩිප්ලෝමා පාඨමාලාවෙහි අට වැනි පාඨමාලාව සාර්ථකව හැදෑරූ, නාවික හමුදා සමාජික සාමාජිකාවන් විසි හය දෙනෙකු (26) යුද්ධ හමුදා සමාජික සාමාජිකාවන් අට දෙනෙකු (08) සහ ගුවන් හමුදා සමාජික සාමාජිකාවන් හය දෙනෙකු (06) වෙත ඩිප්ලෝමා සහතික පත් ප්‍රධානය කිරීම මෙලෙස සිදු කෙරිණි.

තවද, මෙම උත්සව අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නාවික පුහුණු ‍කොමදෝරු රන්ජිත් වල්ගම්පාය, අධ්‍යක්‍ෂ නාවික වෛද්‍ය හා සේවා (රෝග නිවාරන හා පුනරුත්ථාපන) වෛද්‍ය කොමදෝරු ඒඑච් මුල්ලේගම, ‍ශ්‍රී ලංකා හෙද සංගමයේ සභාපති එම්ඩබ්ඒ කීර්තිරත්න මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools