‘දිට්වා’ ආපදාවෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් නාවික හමුදාව ඉදිකළ අන්තර්කාලීන නිවාස නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සහභාගි වෙයි
‘දිට්වා’ ආපදාවෙන් අවතැන් වූ නුවරඑළිය ‘යුනික් වීව්’ ගම්මානයේ පවුල් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද අන්තර්කාලීන නිවාස නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු Akio Isomata 2026 සැප්තැම්බර් මස 18 වැනි දින සහභාගි වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති නියෝජනය කරමින්, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා සහභාගි විය.
"ශ්‍රී ලංකාවේ සුළි සුළං ව්‍යසනයට ප්‍රතිචාර දැක්වීමේ හදිසි ප්‍රදාන" යටතේ, ජපාන රජය, ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM), යුනිසෙෆ් සංවිධානය (UNICEF) සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කෙටි කාලසීමාවක් තුළ ඉදිකරන ලද මෙම අන්තර්කාලීන නිවාස ව්‍යාපෘතිය, පසුගිය 2026 අගෝස්තු 05 වන දින නුවරඑළියේ 'යුනික් වීව්' ගම්මානයේ අවතැන් වූ පවුල් තිස්පහක් (35) වෙත භාර දෙන ලදී.
ඒ අනුව, එම අන්තර්කාලීන නිවාස නිරීක්‍ෂණය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකාවේ ගරු ජපාන තානාපතිවරයා විසින් එම නිවාස සඳහා අලුත්වැඩියා කිරීමේ මෙවලම් කට්ටල සහ ඇඳ ඇතිරිලි කට්ටල ලබා දීම මෙම නිරීක්‍ෂණ සංචාරයට සමඟාමීව සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ (IOM) ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී Ms. Kristin Parco මහත්මිය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(ආපදා කළමනාකරණ) කේජි ධර්මතිලක මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්ඒඩිටිඑන් තෙන්නකෝන් මහත්මිය ද සහභාගිවී සිටියහ.













