ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ 47 වන සංවත්සරය සහ මහා සභා රැස්වීම වැලිසරදී
ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ 47 වන සංවත්සරය සහ වාර්ෂික මහා සභා රැස්වීම, එම සංගමයේ රියර් අද්මිරාල් ඒආර් අමරසිංහ (විශ්‍රාමික) ගේ ආරධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් 2026 සැප්තැම්බර් මස 19 වැනි දින වැලිසර Wave n' Lake උත්සව ශාලාවේදී සාර්ථකව පවැත්විණි.
මෙම 47 වන සංවත්සරය සහ වාර්ෂික මහා සභා රැස්වීම ඇමතූ නාවික හමුදාධිපති, නාවික හමුදාවේ විවිධ පරම්පරාවන් නියෝජනය කළ නිලධාරීන් සහ පුළුල් නාවික පවුලේ සාමාජිකයන් එකට එක් කරනු ලබන මෙම සංවත්සර අවස්ථාවේ නාවික හමුදා සංගමයේ අනුශාසක වශයෙන්, එම අවස්ථාවට සහභාගිවීමට හැකි වීම භාග්‍යක් කොට සලකන බව පවසන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති ජාතික ආරක්ෂාවට සමඟාමීව ජාතික සංවර්ධනය සඳහා දායකවීම ඇතුළු, නව අභියෝග සහ වගකීම් සඳහා මුහුණ දෙමින්, නාවික හමුදාව ඉදිරියට ගමන් කිරීමේදී, ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සතු අත්දැකීම් සහ අවබෝධය, වැදගත් මඟපෙන්වීමක් ලබා දෙනු ලබන බවත්, එමඟින් නාවික හමුදාවේ සම්ප්‍රදායන් ආරක්ෂා කර ගැනීමටත්, අත්දැකීම් තුලින් ඉගෙන ගැනීමටත්, නාවික හමුදා සේවයේ වටිනාකම් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට අඛණ්ඩව සම්ප්‍රේෂණය කිරීමටත්, හැකියාව ලැබෙන බව පවසන ලදි.
තවද, මෙම 47 වන සංවත්සරය සහ වාර්ෂික මහා සභා රැස්වීම සඳහා එම සංගමයේ උපසභාපති ඇතුළු කාරක සභා මණ්ඩලයේ සාමාජිකයන්, විශ්‍රාමික නාවික හමුදාධිපතිවරුන්, නාවික හමුදා මණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.













