රාජකාරියේ නිරතව සිටියදී අභාවප්‍රාප්ත ලුතිනන් තිළිණ උදයප්‍රිය වෙනුවෙන් නාවික හමුදාව ශෝකය පළ කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් පී 4447 වේග ප්‍රහාරක යාත්‍රාව 2026 අගෝස්තු මස 15 වැනි දින අඟුලාන ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන්, රාජකාරියේ නිරතව සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ එම යාත්‍රාවේ දෙවන අණභාර නිලධාරි, ලුතිනන් තිළිණ උදයප්‍රියගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව සිය බලවත් ශෝකය පළ කර සිටියි.
ඒ අනුව, දේශය වෙනුවෙන් කැපවී සේවය කළ මෙම තරුණ නාවික නිලධාරියාගේ වියෝව සම්බන්ධයෙන් ශෝකයට පත් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් හමුවී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සංවේගය ප්‍රකාශ කර, නාවික හමුදාවේ ශෝකය පළ කිරීමෙන් අනතුරුව, දේහයට අවසන් ගෞරවය දැක්වීම 2026 සැප්තැම්බර් මස 06 වැනි දින සිදුකෙරිණි.
ලුතිනන් තිළිණ උදයප්‍රිය 2020 අගෝස්තු මස 19 වැනි දින 63 වැනි බඳවාගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්ව ඇති අතර, එතැන් සිට ඔහු නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍ය වෙනුවෙන් කැපවීමෙන් සහ වගකීමෙන් සිය දායකත්වය අඛණ්ඩව ලබාදී ඇත.
ලුතිනන් තිළිණ උදයප්‍රිය විසින් නාවික හමුදාව වෙනුවෙන් කැපවීමෙන් සිදුකළ සේවය ඇගයීමක් ලෙස, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙකුට හිමිවිය යුතු නාවික හමුදා සම්ප්‍රදායානුකූල පූර්ණ ගෞරව සහිතව ඔහුගේ අවසන් කටයුතු අද දින (2026 සැප්තැම්බර් 07) වේරහැර පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.













