නාගදීප මුහුදු ප්‍රදේශයේදී පෙරළුණු මගී යාත්‍රාවේ සිටි පිරිස මුදවා ගැනීමට නාවික හමුදා සහය
2026 අගෝස්තු මස 16 වන දින සන්ධ්‍යා කාලයේදී නාගදීප මුහුදු ප්‍රදේශයේදී මගී යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරට පත්වූ පිරිස සොයා සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන ලදී. මෙම යාත්‍රාවේ මගීන් අට දෙනෙකු (08) සහ යාත්‍රා ක්‍රියාකරුවන් දෙදෙනෙකු (02) ගමන් කරමින් සිට ඇත.
මෙම යාත්‍රාව 2026 අගෝස්තු මස 16 වන දින 1530 පැයට පමණ කුරිකඩ්ඩුවාන් ජැටියෙන් ඩෙල්ෆ්ට් දූපත බලා පිටත්ව ඇති අතර, නියමිත ගමනාන්තය වෙත ළඟා නොවීම හේතුවෙන් බලධාරීන් විසින් ඒ පිළිබඳ සොයා බැලීම් ආරම්භ කර ඇත.
ඒ අනුව, යාත්‍රාව අනතුරට පත්ව ඇති බවට ලද තොරතුරට අනුව, පවතින රළු මුහුදු තත්ත්වය හමුවේ අතුරුදන් වූ යාත්‍රාව සොයා කඩිනමින් සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
මේ අතර, යාත්‍රාව පෙරළීමෙන් අනතුරුව එහි සිටි සියලුම මගීන් සහ යාත්‍රා ක්‍රියාකරුවන් නාගදීප දූපත වෙත පිහිනා ගොඩබිමට පැමිණීමට සමත් වී ඇති අතර, පසුව, අනතුරට පත් පිරිසට අවශ්‍ය වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ඔවුන් නාගදීපයේ සිට යාපනය රෝහල වෙත රැගෙන යාමට නාවික හමුදාව සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.













