අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් ජනතාව සුරක්‍ෂිත කිරීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සූදානමින්

04 Aug 2026

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ජයසුන්දර ගම්මානයේ ආපදාවට පත් වූ කාන්තාවන් සිව්දෙනෙකු (04) සහ පිරිමි පුද්ගලයන් හත්දෙනෙකු (07) ඇතුළු පුද්ගලයින් එකොළොස් දෙනෙකු (11) අද දින (2026 අගෝස්තු 03) ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආපදා සහන කණ්ඩායම් විසින් සුරක්ෂිතව මුදා ගැනීමට සමත් විය.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආපදා සහන කණ්ඩායම් විසි එකක් (21) සහ නාවික යාත්‍රා මහනුවර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගහපහ සහ කොළඹ ප්‍රදේශ වෙත මේ වන විටත් යොදවා ඇත.

තවද, ගංවතුර හා හදිසි නායයෑම් ඇති වීමේ අවදානමක් පවතින ප්‍රදේශවල ආපදාවට පත් ජනතාව මුදා ගැනීම, ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම සහ අවශ්‍ය සහන කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා නාවික පුද්ගලයින් හත්සීයක (700) පමණ පිරිසකගෙන් සමන්විත ආපදා සහන කණ්ඩායම් එකසිය හැත්තෑ එකක් (171) සූදානමින් සිටියි.

එමෙන්ම, ආපදාවට පත් ජනතාවට අවශ්‍ය ආහාර පහසුකම් කඩිනමින් සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජංගම මුළුතැන්ගෙවල් හතරක් (04) සූදානම් කර ඇති අතර, අවශ්‍යතාව මත ක්ෂණිකව ආහාර සැපයීම සඳහා එම මුළුතැන්ගෙවල් යොමු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා එක්ව ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීම සහ ආපදා තත්ත්වයන්ට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ජනතාවට සහන සැලසීමට නාවික හමුදාව පූර්ණ සූදානමින් කටයුතු කරයි.

Accessibility Tools