නැගෙනහිර මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

06 Nov 2026

ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මුහුදට ඇඳවැටී ගොඩගැනීමෙන් පසුව අසාධ්‍ය තත්වයකට පත් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, නාවික හමුදාව විසින් අද දින (2026 නොවැම්බර් 06) කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

කුඩාවැල්ල ධීවර වරායෙන් 2026 ඔක්තෝබර් මස 29 වැනි දින ධීවර කටයුතු සඳහා පිටත්ව ඇති ‘ක්‍රිෂාන් පුතා’ (IMUL-A-0831 TLE) නමැති බහුදින ධීවර යාත්‍රාව, ත්‍රිකුණාමලය බෝලඩර් තුඩුවේ සිට නාවික සැතපුම් පනස් හතරක් (54) පමණ දුරින් වූ නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී, එම යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු හදිසියේ මුහුදට ඇදවැටී ගොඩගෙන ඇත. අනතුරුව එම ධීවරයා හට ඇතිවී ඇති සංකූලතා හේතුවෙන්, කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකල දැනුම් දීමකට අනුව නැගෙනහිර නාවික විධානය වෙත අනුයුක්ත පි 474 වේග ප්‍රහාරක යාත්‍රාව රෝගියා රැගෙන ඒම සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

ඒ අනුව, රෝගී වූ එම ධීවරයා නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කරනු ලැබීය.

තවද, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපය තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත කඩිනම් සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.

Accessibility Tools