නීති විරෝධී මත් පැන් තොගයක් සමඟ සැකකරුවන් 02ක් වෙන්නප්පුවේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, වෙන්නප්පුව පොලීසිය හා එක්ව 2026 සැප්තැම්බර් මස 04 වැනි දින වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී මත් පැන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, නාවික හමුදාව, වෙන්නප්පුව පොලීසිය හා එක්ව, වෙන්නප්පුව නයිනමඩම ගින් ඔය ආශ්‍රිතව සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, නීති විරෝධී දේශීය මත්පැන් නිශ්පාදනය සඳහා භාවිතා කරන ගෝඩා සහිත බැරල් 03ක් හා ලීටර් තුන්සියයක් (300), හිස් බැරල් පහක් (05), නීති විරෝධි මත් පැන් සහිත කෑන් දෙකක් (02) හා ලීටර් අසූවක් (80) සහ තඹ දගර දෙකක් (02) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 38ක් වන, වයික්කාල ප්‍රදේශයේ පදිංචි බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, නීති විරෝධි මත්පැන් තොගය සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.













