ඇම්බර්ග්‍රිස් තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නීතියේ රැහැනට

12 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ 2026 සැප්තැම්බර් මස 11 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, වන සත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත ප්‍රකාරව වාණිජ භාවිතය තහනම් කළ ඇම්බර්ග්‍රිස් (Ambergris) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින්, මන්නාරම සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, නීති විරෝධීව රැස්කර ප්‍රවාහනය කිරීමට සූදානම් කළ තල්මසකුගේ ඇම්බර්ග්‍රිස් කිලෝ ග්‍රෑම් හැට හතකට (67) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ක් හා 36ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන් සහ ඇම්බර්ග්‍රිස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Accessibility Tools