SPORT NEWS 2026

නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2026 සාර්ථකව නිමාවට පත්වෙයි

12 Jul 2026

නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2026, මෙවර උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේදී 2026 ජූලි මස 08 සිට 10 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය නාවික දියත් විධානයත්, කාන්තා ශූරතාවය පුහුණු විධානයත් දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, තරඟාවලියේ පිරිමි අවසන් තරඟය නාවික දියත් විධානය සහ නැගෙනහිර නාවික විධානය අතර පැවැත්විණි. එහිදී දක්ෂ ලෙස ක්‍රීඩා කළ දියත් විධාන කණ්ඩායම ලකුණු 12 - 10 ක් ලෙස නැගෙනහිර නාවික විධාන කණ්ඩායම පරාජය කරමින් මෙවර අන්තර් විධාන පිරිමි රග්බි ශූරතාවය දිනාගැනීමට සමත් වූ අතර, එහි අනු ශූරතාවය නැගෙනහිර නාවික විධානය හිමිකර ගන්නා ලදි.

පුහුණු විධානය සහ උතුරු නාවික විධානය අතර පැවති කාන්තා අවසන් තරඟය 5 - 0 ක් ලෙස ජයග්‍රහණය කල පුහුණු විධාන කණ්ඩායම, අන්තර් විධාන කාන්තා රග්බි ශූරතාවය දිනාගත් අතර, උතුරු නාවික විධානය එහි අනු ශූරතාවය හිමිකර ගන්නා ලදි.

අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2026 හි පිරිමි පලිහ ශූරතාවය පුහුණු විධාන කණ්ඩායමද, අනුශූරතාවය උතරු නාවික විධාන කණ්ඩායමද, කාන්තා පලිහ ශූරතාවය නාවික දියත් විධාන කණ්ඩායම විසින්ද, අනුශූරතාවය දකුණු නාවික විධාන කණ්ඩායම විසින්ද හිමිකර ගන්නා ලදි.

තවද, මෙම රග්බි ගරඟාවලියේ පිරිමි බඳුන ශූරතාවය බටහිර නාවික විධාන කණ්ඩායම විසින් සහ කාන්තා බඳුන ශූරතාවය නැගෙනහිර නාවික විධාන කණ්ඩායම විසින්ද හිමිකර ගැනීමට සමත් විය.

එමෙන්ම, තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය නාවික දියත් විධාන කණ්ඩායමේ ලුතිනන් සිපි සෙනෙවිරත්න විසින් සහ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය පුහුණු විධාන කණ්ඩායමේ සාමාන්‍ය කාන්තා නැවි ආර්එම්එස්එස් රත්නායක විසින් දිනාගැනීමට සමත් වූ අතර, තරඟාවලියේ දක්‍ෂතම ප්‍රවීණ ක්‍රීඩකයාට හිමි සම්මානය කොමාණ්ඩර් අනුරාධ දේශප්‍රිය විසින් හිමිකර ගැනීමට සමත් විය.

තවද, අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2026 හි ප්‍රධාන ආරාධිතයා වශයෙන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ සහභාගී වූ අතර, මෙම අවස්ථාව සඳහා රග්බි සංචිතයේ ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools