විධාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය - 2026 හි ශූරතාවය උතුරු මැද නාවික විධාන (ඒ) කණ්ඩායම දිනාගනියි
නාවික හමුදා විධාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය - 2026 හී අවසන් මහා තරඟය 2026 සැප්තැම්බර් මස 20 වැනි දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, තරඟාවලියේ ශූරතාවය උතුරු මැද නාවික විධාන (ඒ) කණ්ඩායම විසින් දිනාගැනීමට සමත් විය.
ඒ අනුව, සියළුම නාවික විධාන නියෝජනය කරමින් සහභාගි වූ කණ්ඩායම් අතරින් අවසන් මහා තරඟය සඳහා උතුරු මැද නාවික විධාන (ඒ) කණ්ඩායම සහ නැගෙනහිර නාවික විධාන (බී) කණ්ඩායම සුදුසුකම් ලැබු අතර, එහිදී නැගෙනහිර නාවික විධාන (බී) කණ්ඩායම පරාජය කරමින්, විධාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය - 2026 හී ශූරතාවය මෙලෙස උතුරු මැද නාවික විධාන (ඒ) කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය.
තරඟාවලියේ සුවිශේෂී දක්‍ෂතා පෙන්නුම් කරමින් තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස නැගෙනහිර නාවික විධාන (බී) කණ්ඩායම නියෝජනය කල නායක ඉංජිනේරු කාර්මික ඩීඑම්එස් දිල්හාල් විසින්ද, තරඟාවලියේ දක්‍ෂතම පිතිකරු ලෙස නැගෙනහිර නාවික විධාන (බී) කණ්ඩායම නියෝජනය කල සුළු නිලධාරි ජීඩබ්ඒ විජේරත්න විසින්ද, අවසන් මහා තරඟයේ වීරයා ලෙස උතුරු මැද නාවික විධාන (ඒ) කණ්ඩායම නියෝජනය කල සුළු නිලධාරි ඩබ්ඩී රොෂාන් විසින් සහ තරඟාවලියේ දක්‍ෂතම ක්‍රිඩකයා ලෙස උතුරු මැද නාවික විධාන (ඒ) කණ්ඩායම නියෝජනය කල ලුතිනන් කොමාණ්ඩර් කේඑල්එල් සාවින්ද විසින් එහිදී පදක්කම්, කසලාන සහ සහතිකපත් හිමි කරගන්නා ලදි.
තවද, අවසන් තරඟය සහ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා, නාවික හමුදා ක්‍රිකට් සංගමයේ සභාපති කොමදෝරු චමින්ද රණවීර සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ උපුල් තරංග, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, චාමර කපුගෙදර හා අවිෂ්ක ප්‍රනාන්දු යන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.













